Behave decently to get admired by public. අවිනීතව හැසිරීමෙන් ඔබ සමාජයේ පිළිකුලට ලක්වෙනවා. විනීතව හැසිරීමෙන් ඔබට සමාජයේ ඉහළ තැනක් හිමිවෙනවා. මේ වැදගත් කාරණාව ගැන තමයි අපි අද මේ ලිපියෙන් කතාකරන්නෙ. සමහර පුද්ගලයින් හැසිරෙන විධිය දැක්කම හිතෙන්නෙ ඔවුන් මානසික රෝගියෝ කියලයි. ඔවුන් ඇයි එහෙම හැසිරෙන්න කියන එක මහා ප්‍රශ්නයක්. උගත්කමත් මීට බලපානව. ඒ වගේම තමයි බුද්ධිමත්කමත් මීට බලපානව. උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නෙ දෙකක්, නමුත් මේ දෙකේ යම් යම් සම්බන්ඳකම් තියෙනවා.
මොකක්ද මේ අවිනීතව හැසිරෙනවා කියන්නෙ? සමාජය අයහපත් කියා පිළිගන්නා හා අන්අය අපහසුතාවයට පත්වෙන අන්ඳමින් හැසිරීම තමයි අවිනීතව හැසිරෙනවා කියන්නෙ. උදාහරණයක් වශෙයෙන් සමහර තරුණ කපල් බස් හා අනෙකුත් පොදු වාහන වල සිප වැළඳගැනීම. ඔබත් මෙසේ හැසිරෙන කෙල්ලො කොල්ලො දැකල ඇතිනෙ. සමහර කොල්ලො කෙල්ලො සිප වැළඳගැනීමටත් එහා යන්න යනවා. මෙවැනි අවිනීත හැසිරීම් වලින් ඔබ සමාජයේ පිළිකුලට තමයි ලක්වෙන්නේ. “මුන්ට ලැජ්ජ නෑ.” “මුන්ට කිසිම හැදියාවක් නෑ.” “මුන් නිසා බස් එකක පොඩි ළමයෙක් වත් ගෙනියන්න බෑ.” ඔන්න ඔය වගේ කතා තමයි ඔබට අහන්න වෙන්නෙ. ඒ කියන්නෙ ඔබ කරන කියන ක්‍රියා නිසාම ඔබට සමාජයේ පහත් තැනක් හිමිවෙනවා කියන එකනෙ. ඔබ ඒකට කැමතිද? තම හැඟීම් පාලනය කරගන්න. අවිනීතව පොදු ස්ථානවල හැසිරෙන්නෙ එපා. එයින් අනිත් අයත් අපහසුතාවයට පත්වෙනවා.
ලංකාවේ අපිට ඕනෑ තරම් අවිනීත රියදුරන් ගැන අසන්න ලැබෙනවනෙ. සමහරක් පාරේ වාහනය පාලනය කරන්නෙ සුක්කානමෙන් නෙමෙයි, හෝන් එකෙන්. කන් පැලෙන්න හෝන් ගහගෙන තමයි ඒ මිනිස්සු වාහනය එළවන්නෙ. මේකත් අවිනීත හැසිරීමක්. පාරේ නීති කඩ කර කර හැමතැනින්ම වාහනය දදා අන් අයගේත් ආරක්ෂාව අනතුරේ දාන රියදුරන් ඔබ කොතෙකුත් දැකලා ඇතිනෙ. ” ඌ බූරුවෙක් වගේ වාහනේ පදින්නෙ.” “ඌට කවුද දන්නෙ නෑ ලයිසන් දුන්නෙ.” ඔය වගේ කතා තමයි ඔබට අහන්න වෙන්නෙ. එහෙම කරන්න එපා.
බලන්නකෝ පහල වීඩියෝ එකේ පෙන්වන අනතුරු දිහා 🙁 .විනීතව රිය පැදවුවා නම් බොහෝමයක් අනතුරු වලක්වගන්න තිවුණා.
සැමවිටම ඔබ විනීතව වාහනය පදවන්න. වැදගත්ම දේ තමයි ඔබෙත් ජනතාවගේත් ජීවිත වලට කිසිම හානියක් නොවීම.
මුළු ලෝකෙටම ඇහෙන්න කුණුහරුපෙන් කෑගහන මිනිස්සු ඔබේ අවටත් ඇති. “අප්පා, ඒකනම් කටක් නෙමෙයි කුණු පඩික්කමක්.” “ඌ කට ඇරියොත් කියන්නෙම කුණුහරපයක්.” ඔන්න ඔය වගේ දේවල් තමයි ඔබට මිනිස්සු කියන්නෙ. ඔබ කැමතිද ඔබට මිනිස්සු එහෙම දේවල් කියන කොට? ඔබට බනින මිනිසුන්ගේ වැරැද්දක් නෑනෙ. කුණුහරප කියන ඔබේ තමයි වැරැද්ද. මිනිසුන්ට හොඳින් කතා කරන්න. ඒකත් විනීතව හැසිරීමක්. එතකොට තමයි අනිත් අයත් ඔබට ගරුකරන්නේ. සමාජයේ ඔබට ඉහළ පිළිගැනීමක් හිමිවෙන්නේ.
ඔබත් දන්නව ඇතිනෙ තලු මර මර කටින් සද්දෙ දදා කන කෙනෙක්ව. “මූ කන්න වත් දන්නෙ නෑනෙ.” “චී, මූ කන්නෙ සතෙක් වගේ.” මෙන්න මෙවැනි කතා තමයි ඔබට අහන්න වෙන්නෙ. ශිෂ්ඨ රීති වලට අනුව ආහාර ගැනීමත් විනීතව හැසිරීමක්. හැන්ඳෙන් ගෑරැප්පුවෙන් කන්න දන්න එකම නෙමෙයි අපි මෙතන සඳහන් කරන්නෙ. ඔබත් එක්ක කන අනිත් අයට අප්‍රියාවක් ඇති නොවෙන විදියට කිසිම සද්දයක් නොකට කට වහගෙන කෑම කන්න. කන ගමන් කතා කිරීමත් නරක පුරුද්දක්.
සාමාන්‍යයෙන් උසස් පැළැන්තියේ අය කන්නෙ හැන්ඳෙන් ගෑරැප්පුවෙන් කියල ඔබ දන්නවනෙ. මේ පැළැන්තියේ අය මේසයක් මත හිඳ කෑම ගැනීමේදී විනීතව හැසිරීම ගැන ගොඩාක් හිතනවා. ලොකු තැනක මේසයක් මත හිඳ ප්‍රභූන් සමග ආහාර ගන්න විධිය ගැනත් ඔබ ටිකක් දැනෙගෙන ඉන්න. මේ දේවල් දැනගන්න එකෙන් ඔබට වාසියක් මිසක් පාඩුවක් වෙන්නේ නෑ.
අවිනීතව හැසිරෙන දේවල් වලට අපි පොදුවේ කියන්නේ රස්තියාදුකාර හැසිරීම කියලනෙ. ඔබ ඇවිදින විධිය, කතා කරන විධිය, අඳින පළඳින විධිය වගේ ඔබ කරන සියලුම ක්‍රියා විනීත හා හික්මුණු පුදගලයෙක් වගේ කරන්න. ඔබ කරන කියන දේවල් වලින් තමයි මිනිස්සු ඔබව මනින්නෙ. “අනිත් උන් හිතන දේ මට මොකෝ. “මම කරන්නෙ මට ඕන දේ.” ගොඩ දෙනෙක් මේ දේවල් කියනව ඔබත් අහල ඇතිනෙ. ඔබ කරන්නේ හරි දයක් නම් ඔබට එසේ කියන්න පුළුවන්. නමුත් ඔබ අවිනීතව හැසිරෙමින් එහෙම කියනවා නම් ඔබ මහා මෝඩයෙක්. සමාජයේ ගරුත්වයෙන් ජීවත් වීමට අන්අය ඔබව දකින විධියත් වැදගත්. එතකොට තමයි ඔබට සමාජය ගරුකරන්නෙ.