Marry for happiness, not to show off ! ලෝකෙට පේන්න ණයට වෙඩින් අරන් අමාරුවේ වැටෙන්න පෙර සිතන්න යමක් !
දෙදෙනක් විවාහ වෙනවා කියන්නේ ජීවිත කාලයටම එකට ඉන්නවා කියන පොරොන්ඳුව දෙනවා කියන එකනෙ. නමුත් අද විවාහ කියන්නේ මොකද්ද කියලා මිනිස්සුන්ට අමතක වෙලා. දෙදෙනා අතර බැඳීම නීත්‍යානුකූල කරන දවස වෙනුවට ලෝකෙටම පේන්න උත්සව අරගෙන සල්ලි නාස්ති කරන දවසක් බවට අද විවාහය පහතට වැටිලා. අල්ලපු ගෙදර ගත්ත මගුලට වඩා ලොකුවට අපි කොහොමද මගුල ගන්නේ කියලා තමයි අද මිනිස්සු හිතන්නෙ.
ඔබත් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නෙ? එහෙනම් මේ ලිපියේ ඉතුරු ටික අනිවාර්යයෙන්ම කියවන්න! කිසිම උත්සවයක් ගන්න එපා කියලා නෙමෙයි අපි කියන්නෙ. නමුත්, ඔබට දරන්න පුළුවන් ප්‍රමාණයේ මගුලක් පමණක් ගන්න. අද ලංකාවේ මගුල් කන්නේ සෝබනේට. විවාහයෙන් පස්සෙ දෙන්න මරාගන්නවා. නමුත් ලෝකෙට පේන්න ගෙවාගන්න බැරි තරමට ණය අරන් මගුල් කනවා.
මීට අවුරුදු 20කට විතර කලින් නම් ලංකාවේ මගුල් ගත්තෙ ගොඩක් චාමෙට. නමුත් පස්සෙ පස්සෙ ආව එක එක දේවල් නිසා මිනිස්සු නිකරුණේ මුදල් වියදිම් කරන්න පෙළඹුණා. විවාහ උත්සව සංවිධානය කරන පෞද්ගලික ආයතන තමයි මේ තත්වයට වැඩියෙන්ම වගකියන්න ඕනේ. ඔවුන්ගේ දේ විකුණගන්න ඔවුන් මිනිස්සුන්ගෙ ඔළුවට එක එක විකාර දානවා. ඉතින් ඔවුන්ගේ මඩිය තරකරගන්න කරන මේ ගැටවලට මිනුස්සු අහුවෙනවා.
ඉස්සරත් යම් ප්‍රමාණයකට ලොකුවට මගුල් කනවා කියන මනස්ගාතය ලංකාවේ තිබුණ. නමුත් අද ඒ තත්වය උච්ච වෙලා. බෙල්ල ගානටම හිරවෙන්න හරි ණය වෙලා තමන්ගේ වෙඩින් එක ටීවී එකේ යන විවාහ වැඩසටහනට දාගන්නෙ කොහොමද කියල තමයි ලංකාවෙ මිනිස්සු අද හිතන්නෙ. වෙඩින් එකට පස්සෙ ණය ගෙවාගන්න බැරිව ඒ ගැන රණ්ඩු කර කර දෙන්න මරාගන්නවා. එච්චර මෝඩ වෙන්න එපා. විවාහයේ සැබෑ අරමුණ තේරුම් ගන්න.
ලංකාවේ හා ඉන්දියාවේ තමයි වැඩියෙන්ම ලෝකෙට පේන්න ලොකුවටම වෙඩින් එක ගන්න ඕන කියන මෝඩ මතය තියෙන්නෙ. ගොඩක් බටහිර රටවල නම් වෙඩින් එක ඔවුන් ගන්නෙ ගොඩක් චාමෙට. චාරිත්‍ර වලට තමයි ඔවුන් මුල් තැනක් දෙන්නෙ. පල්ලියේ චාරීත්‍රානුකූලව දෙදෙනා විවාහ වෙලා පස්සෙ පොඩි පාටියක් දානවා. ඇයි අපිට ඒ රට වලින් ආදර්ශයක් ගන්න බැරි.
ඔව්, බටහිර රටවල මිනිස්සුත් වෙඩින් එක ගන්න ණය ගන්නවා. හැබැයි ඔවුන් ගෙවන්න පුළුවන් ප්‍රමාණය විතරයි ගන්නෙ. අනිත් කාරණාව තමයි ගත්ත ණය දෙදෙනාම හවුල් වී ගෙවීම. ලංකාවේ නම් වැඩි බර පැටවෙන්නෙ පිරිමි පාර්ශවයට. ඔවුන් කලින්ම බජට් එකක් හදාගෙන තමයි වෙඩින් එක ප්ලෑන් කරන්නෙ. ලංකාවේ අපිත් ඒ විදියට තමයි කරන්න ඕනේ.
නෑ. ඔබ වෙඩින් එකට කියා ගන්න ණය වියදමක් පමණක් මිසක් ආයෝජනයක් නෙමෙයි. ගෙවාගන්න බැරි තරමට ණය අරගෙන ඒකට පොලියත් එක්ක දෙගුණයක් ගෙවන්න වෙනවා. විවාහවෙන දෙපළටම ටිකක් කල් ඉඳල වෙඩින් එකට මුදල් එකතුකරන්න පුළුවන්. නැත්තම් ඔබේ අතේ ඇති මුදලට සරිලන චාම් විවාහ උත්සවයක් ගන්න. අනිත් අය කියන දේවල් ගැන හිතන්න එපා. ඔවුන් කිසිවෙක් ඔබට ණය ගෙවන්න සහය වෙන්නේ නෑනෙ. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියාගන්න දෙන්න. ඔබ මොන විදියකට වෙඩින් එක ගත්තත් මොනා හරි ඇද කුද කියන කට්ටියක් ඉන්නව. ඒ තමයි ලෝකෙ හැටි.
“මට දුවගෙ වෙඩින් එක ගන්න ඕන අපේ පැත්තේ තියෙන හොදම හෝටලයේ / හෝල් එකේ !” ඔහොම තමයි අද දෙමව්පියන් ගොඩ දෙනෙක් කියන්නෙ. ඔබ විවාහ උත්සවය ගන්න හෝල් එක සුපිරිම එකක් වෙන්න ඕනෙ කියල දෙයක් නෑනෙ. ඔබේ අතේ ඇති මුදලට සරිලන වෙඩින් හෝල් එකක් තෝරගන්න ( නිවසේ හොදට ඉඩ කඩ තියෙනවනම් ගෙදරම ගන්න ). සීමාව ඉක්මවා ගොඩක් කට්ටියට ආරාධනා කරන්නත් එපා. ඔබේ පවුලේ උදවිය, නෑදෑයන්, හා ඔබට හිතින්ම ආශිර්වාද කරන ළඟම හිතවතුන්ට පමණක් වෙඩින් එකට ආරධනා කරන්න. ඇත්තෙන්ම කිව්වොත් ඔබ වෙඩින් එක හෝල් එකකම ගන්න ඕනේ නෑ. බටහිර රටවල ගොඩක් වෙඩින් තම දෙමව්පියන්ගෙ නිවෙස් වල තමයි ඔවුන් ගන්නෙ (මහ ගෙදර.) ඉතින් ඔබටත් ඒ දේ කරන්න බැරිකමක් නෑනෙ.
ලංකාවේ ලක්ෂ 50-60 වියදම් කරල වෙඩින් ගන්න අය ඉන්නවා ඒ මුදල ඔබට පින් අතේ දෙයකට යොමුකරන්න පුළුවන් ( එහෙමත් බැරි නම් FD එකක් හරි දාගෙන තියාගන්න අනාගතය ගැන හිතලා ! ) එතකොට තමයි ඔබේ විවාහ දිවියට ඇත්තටම ආශිර්වාදය හිමිවෙන්නේ. හැබැයි ඔයාට ඉහළ අදායමක් තියෙන කෙනෙක් නම් අපි කියන්නේ නෑ එහෙම වියදම් කරන්න එපා කියලා. ලක්ෂ 50 නෙමේ ලක්ෂ 1000 වියදම් කරත් කමක් නෑ. මොකද ඉතින් ඔයාට වැඩි සල්ලි ටික අනිත් අයට යන එකත් හොදයි නේ ! 😀 .
ඔබත් ඔබේ ළඟදී එන වෙඩින් එකට ලොකු ණයක් ගන්න හිතන් ඉන්නවා ඇති. ඒ මෝඩකම කරන්න එපා. ණය නොවී වෙඩින් එක ගත්තම පස්සෙ ඔබ දෙපළට නිවිහැනිහිල්ලේ විවාහ දිවියේ රසය විඳින්න පුළුවන්. දෙදෙනාම සහයෝහයෙන් වෙඩින් එකට අවශ්‍ය මුදල කල්තියාම එකතුකරන්න.