“මට එයා නැතිව ජීවත්වෙන්න බෑ , එයා නැති ජීවිතය මට අපායක්.” මේ වගේ ලියුම් ලියලා කෝච්චියට බෙල්ල තියන නැත්තම් බෙල්ලෙ වැලදාගන්න තරුණ තරුණියන් ගැන අපට නිතරම වගේ දැන් ඇහෙනවා. හැබැයි කෙල්ලො නම් ගොඩාක් අඩුවෙන් තමයි මේ මෝඩකම කරන්නෙ. කොල්ලො තමයි පොඩි දේටත් බෙල්ලෙ වැලදාගන්නෙ. පසුගිය වසරේ ජනහද දිනූ නලුවෙකුත් මේ දෙය කරගත්තනෙ. ඉතින් මේ ලිපියෙන් අපි අද කතාකරන්නේ ප්‍රේම සම්බඳතා නිසා ජීවිතය නැති කරගන්නා තරුණ තරුණියන් ගැනයි.
සියදිවි හානි කරගැනීම අතින් ලෝකයේ ඉහළින්ම ඉන්න රටක් තමයි ලංකාව. ප්‍රේම සබඳතා නැතිවීම තමයි මේ මරණ වලට හේතුවෙන ප්‍රධානම කාරණාව. සාමාන්‍යයෙන් අපි හිතන්නෙ පිරිමින්ට තමයි ප්‍රශ්න දරාගන්න පුළුවන් කියලා. නමුත් ඒක එහෙමෙ නෙමෙයි. සියදිවි හානි කරගැනීම අතින් ඉදිරියෙන්ම සිටින්නෙ පිරිමින්. මුළු ලෝකයේම තත්වය එහෙමයි. කෙල්ලො නම් අඬල හරි ප්‍රශ්න දරා ගන්නවා. නමුත්, කොල්ලො එහෙම නෑ. අඬන්නෙ නැතුව ඉඳලා සද්ද නැතිවම බෙල්ලෙ වැල දාගන්නවා. ඒ කියන්නෙ ලංකාවෙ කොල්ලො කෙල්ලන්ට වඩා ගොඩාක් මෝඩයි. ලංකාවේ දැන් ඇහෙන විරහ ගීත වලින්ම මේ කාරණාව ඔබට තේරෙනවනෙ? මේ “පිරිමි අඳෝනාවක්” ඇහෙන කොට ප්‍රේමයෙන් පරාද වෙලා ඉන්න කොල්ලෙක්ට නිකන්ම බෙල්ලෙ වැල දාගන්න හිතෙනවා ඇති. සමහර සිංඳු වීඩියෝ වලත් තියෙනවනෙ කොල්ල සියදිවි හානි කරගන්න එක.
ලංකාවේ ඔබට හොයාගන්න ඉන්නෙ එක කෙල්ලෙක් විතරද? එක කොල්ලෙක් විතරද? කෙල්ලෙ බූට් එක දීපු නිසා ඒ කෙල්ල වෙනුවෙන් මැරෙන්නෙ ඇයි? තමා ගැන කිසි ආදරයක් නැති තමාව ගණන් ගන්නෙ වත් නැති කෙල්ලෙක් නිසා ඇයි කෝච්චියට බෙල්ල තියන්නෙ? සමහර කොල්ලො, කෙල්ලත් එක්ක ආදරය කරලත් නෑ. ඒ කෙල්ලගෙන් ආදරය ඉල්ලලා කෙල්ල බෑ කිව්වම බෙල්ලෙ වැල දාගන්නවා. එච්චර මෝඩ තරුණයෝ අද ලංකාවෙ ඉන්නව. සංසාරෙ පින් කරලා මනුස්ස ජීවිතයක් ලබාගෙන ඒ වටිනා මනුස්ස ජීවිතය කොහෙවත් ඉන්න කෙල්ලෙක් හෝ කොල්ලෙක් නිසා නැති කරගන්නව. බුදු දහමේ හැටියට සියදිවි හානි කරගැනීමත් සංසාරේ පුරුද්දකට යනවා. ඒ වගේම ඒක මහා පාප කර්මයක්.
“මට මේ ලෝකෙ ඔයා නැතිව වෙන කවුරුත් නෑ. ඔයාගෙ ආදරය විතරයි මට තිබ්බෙ.” මෙහෙම ලියුම් වල ලියලා තමයි මෝඩ කොල්ලො කෙල්ලො කෝච්චියට බෙල්ල තියන්නෙ. නමුත් තමාගේ දෙමව්පියන් දෙදෙනාව මතක නැතිවෙලා. මේ ලෝකයේ තම දෙමව්පියන් තරම් ඔබට ආදරය කරන වෙන කෙනෙක් නෑ. ඔබේ බිරිඳ වත් ඔබේ දෙමව්පියන් තරම් ඔබට ආදරය කරන්නේ නෑ. ඔබේ බිරිඳත් ඔබට ආදරය කරන්නේ නියමයන් හා කොන්දේසි තුළ හිඳගෙන. නමුත් කිසිම සීමාවක් නැතිව, කොන්දේසි නැතිව ඔබට ආදරය කරන්නේ ඔබේ දෙමව්පියන් පමණයි. කොහ්වත් ඉන්න ඔබට කිසිම ආදරයක් නැති කොල්ලෙක් හරි කෙල්ලෙක් නිසා හරි ඇයි ඔබේ අම්මා තාත්තා අමතක කරලා ජීවිතට තොරකර ගන්නෙ? ඒ වගේම ඔබේ සහෝදර සහෝදරියන්, ඔබේ යාළුවෝ? ඇයි මේ කට්ටිය ඔබට ආදරය කරන්නේ නෑ කියලද ඔබ හිතන්නෙ?
පිරිමියක් පරිණත වෙන්නේ අවුරුදු 25හ පැන්නට පස්සෙ. ස්ත්‍රියක් පරිණත වෙන්නේ අවුරුදු 22න් පස්සෙ. මේ වයස් පන්නපු තරුණ තරුණියන් නම් මේ මෝඩකම එච්චර කරන්නේ නෑ. නමුත් අඩු වයසින් ප්‍රේම සබඳතා ඇතිකර ගන්න “බොළඳ” වයසේ කොල්ලො කෙල්ලො තමයි මේ නිසා දිවි තොර කරගන්නේ. අවුරුදු 17දී ඔබ ඔබේ මුළු ලෝකයම කියලා හිතන් ඉන්න කෙල්ල ඔබට වයස 25හ පැන්නට පස්සෙ එපා වෙන්න පුළුවන්. මොකද වයස 25හ වෙනකොට තමයි ඔබ කැමති ඇත්තම ලස්සන හා ඔබ බලාපොරොත්තුවෙන ගති ලක්ෂණ මොනවාද කියලා ඔබට වැටහෙන්නෙ. ඔය වයස 17-18දී කසාද බඳින අය ගොඩාක් වයස 25හ පනින කොට මරාගන්නවා. ඒ වයස වෙනකොට ඔබේ කැමත්ත හා ගති ලක්ෂණ වෙනස්වෙලා. නැත්තම් ඔබ පරිණත වෙලා. ඉතින් කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි හොයාගන්න කලබල වෙන්න එපා. ඔබේ යාළුවන්ට කොල්ලෙක් නැත්තම් කෙල්ලෙක් ඉන්නව කියලා ඔබත් කුණු ගොඩක හරි පැටලෙන්න යන්න එපා. මේ දේවල් තමයි අද ලංකාවේ වෙන්නෙ. සාමාන්‍ය පෙළ සමත් වෙන්නත් කලින් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න තමයි අද පාසල් යන දරුවන් හිතන්නෙ. දෙමව්පියන් මේකට වගකියන්න ඕනෙ. භාහිර පංති වලදී තමයි මේ විකාර දරුවන්ගේ ඔළුවට දාන්නෙ. සමහර භාහිර පංති ගුරුවරුත් මගුල් ජෝඩු කරන කතා ගැන අපිට ලංකාවේ අසන්න ලැබුනනෙ.
මෝඩ වෙන්න එපා. ඔබට නිසි වයස පැමිණි පසුව ඔබටම ගැලපෙන කෙනා හම්බවෙයි. එතකම් ඉවසීමෙන් ඉන්න. කොල්ලෙක් හරි කෙල්ලෙක් නිසා හරි ඔබේ දෙමව්පියන්ට දුක් දීල නිකන් මැරිල යන්න එපා!